ඔබ සාහිත්‍යය රස විදින්න දන්නවද ? (Do we really need literature in our lives?)

නූතන ලෝකයේ අධිවේගී සංවර්ධන මාවත තුළ මිනිසාගේ අවශ්‍යතාවන් පෙර නුවූ විරූ ආකාරයෙන් උච්ඡාවචනය වීම වර්තමානයේ දැකිය හැකි සුලබ දසුනකි. එය තුළ වන වෙනස්වීම අතීත ශිලා යුගයන් හි සිට කාර්මික යුගය දක්වා වූ කාල පරාසය මෙන් නොව එයට වඩා දස දහස් ගුණයකින් වේගවත් වූ අසුරු සැණයකින් වෙනස් වන තප්පර කිහිපයකි. එවන් වු සමාජ ආර්ථික රටාවක් තුළ කියවීම හා සාහිත්‍යය වැනි සංකල්ප වර්තමාන අධිවේගී සංවර්ධන රාමුව තුළ ඉවතට විසි වෙමින් පවතින සංකල්පයන් ලෙස දැක්විය හැකිය. එය තුළ මින් වසර කිහිපයකට එපිට මිනිසාගේ මූලික අවශ්‍යතාවන් වූ සංකල්පයන් වර්තමානය වන විට ඉතා වෙනස් මුහුණුවරකින් දැකිය හැකිය.


කියවීම හා සාහිත්‍යය යනු සමාජයේ ඉතා සියුම් තැන් සංවේදීව ස්පර්ශ කළ හැකි මාධ්‍යයන් ලෙස දැක්වීම ඉතා යෝග්‍යය. සාහිත්‍යය යන සංකල්පය සළකා බලන කල්හි එය මිනිසාගේ මානසික හා සමාජිය අගයන් ඔප් මට්ටම් කළ හැකි සාරගර්භ වූ මාධ්‍යයකි. ඔබ කවි පොතක්, නව කථාවක් ප්‍රබන්ධයක් රස විඳින විට එය තුළ නිතැතින්ම මනස තුළ ජනිත වන සංවේදී හැඟීම් ඒ සඳහා සාක්ෂි සපයයි. එය තුළ ගැබ් වී ඇති ශෝකය, සංතුෂ්ටිය, හා විවිධ වූ මානුෂීය සංකල්පයන් කියවන්නාගේ මනස තුළ මහත් පෙරළියක් සිදු කළ හැකි සංකල්පයන් ය. වසර දහස් ගණනක සිට අද දක්වා විවිධ යුගයන් හි නෙක දෘෂ්ටියන් තුළ විරචිත වූයේ මිනිසාගේ මනස තුළින් ඔප් නංවා හැඩ කරන ලද ඒ ඒ යුගයට ආවේණික වූ සමාජීය සංකල්පයන් ය. එයට මනා නිදසුනක් ලෙස සන්දේශ කාව්‍ය, සද්ධර්මාලාංකාරය, සුභාෂිතය, ලෝවැඩ සඟරාව ආදී ඉපැරණි සාහිත්‍යය කෘති මෙන් ම ගම්පෙරළිය, චරිත තුනක්, විරාගය, වැනි වසර කිහිපයක් එපිට වූ නිර්මාණයන් ද දැක්විය හැකිය. තවද, නූතන පරම්පරාවේ සමාජීය සංකල්පයන් ඉස්මතු කරමින් නිර්මාණය කරන ලද වර්තමාන සාහිත්‍ය කෘතීන් ද රැසක් වේ. මෙවන් වූ සාහිත්‍යය පොතපත පරිශීලනය තුළ මානව චින්තනය ධනාත්මක මට්ටමකට ඔසවා තැබිය හැකි වීම ඒ තුළ ඇති සුවිශේෂීතාවයයි. සුභාෂිතයේ එන පහත කවියෙන් ඒ බව මනා ව නිරූපණය වේ.


“න ඳ න ගුණ නුවණ යුතු උතුමෝ මහත
නොගෙන කිසි කරුණු සත සුවපත් කරත
දිළෙන සා මඬුලු යුතු කුරු පෙළ දිමුත
යනෙන සත සතපවමින් ගිම් දුර හරිත”

මෙය තුළ දැක්වෙන්නේ සමාජයේ සුව පිණිස වන පණිවිඩයකි. ගසක් සැමට සිසිලස හා සෙවණ කිසිදු දෙයක් අය නොකර නිරන්තරයෙන් සපයන්නා සේ යහපත් මිනිසුන් ද සමාජයේ සුබසෙත උදෙසා කිසිදු ලාභයක් නොතකා කටයුතු කරන ආකාරයයි. මෙවන් වූ සාහිත්‍ය කෘති පරිශීලනය තුළ එම පරිශීලකයා මේ තුළ ලබා ගන්නා ආභාෂය මුළු මහත් සමාජය උදෙසා ම ප්‍රයෝජනවත් වේ. එනිසයි සාහිත්‍යය හා කියවීම තුළ වඩාත් සාරගර්භ වූ ගුණයන් අන්තර්ගත වී ඇත්තේ. මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍යය සංග්‍රහයේ අම්මා පිළිබඳව දක්වා ඇති පහත කාව්‍ය තුළින් එය වඩාත් හඳුනාගත හැකිය.


“දර හනසු ලා ලිපට
කඩයප්පන් සැදීමට
දුක හනා කැටයම් කළ
දහඩියෙන් පිරියම් කළ”


මෙම පද පේළි කිහිපය තුළ තම අම්මාගේ වෙහෙස වී වැහැරුණු මුහුණ හා ඇගේ අප්‍රතිහත ධෛර්යය සේකරයන් වචන අතර ගොනු කර වඩාත් ජීවමාන කර ඇත්තේ කියවන්නන්ගේ සිත තුළ සංවේදීතාවන් ස්පර්ශ කරමිනි. තවද, කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත හීන්සැරය කෘතිය ද තවත් නිදසුනකි. කුඩා දරුවන් හට එය ඉතා සරළ කතාන්දරයක් වුවද වැඩිහිටි පාඨකයන් සදහා එය තුළ පවසන්නේ සමාජීය අර්ථයකි. ඒ අනුව අරුත් තල දෙකක් ඔස්සේ එකම කෘතිය සමාජයේ පාඨක කොටස් ද්විත්වයක් අමතයි. මේ අනුව සළකා බලන කල් හි සාහිත්‍යය යනු අසීමිත දෘෂ්ටිකෝණයන් ඔස්සේ සමාජයේ සියලු සත්ත්වයන් වෙත පිදෙන බුද්ධිමය තිළිණයක් වන අතර එවන් වූ සාහිත්‍යය පොතපත පරිශීලනය ඔස්සේ මිනිසා තුළ ඇතිවන මානසික පෙරළිය වඩාත් යහපත් වූ සමාජයක් උදෙසා මඟ සළසයි. නමුත් , නුතන යාන්ත්‍රීකරණය තුළ මිනිසුන් රොබෝවරුන් මෙන් කටයුතු කරන සමාජයක කියවීම හා සාහිත්‍යය යනු වැලිකතරකට දිය පොදක් බඳු ජීවමාන සංකල්පයකි.

නූතන සමාජය තුළ රස වින්දනය අවශ්‍යද ?

නූතන සමාජය තුළ ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ සාරධර්ම පිරිහී යාමයි. ඒ තුළ ආරම්භ වී ඇති සමාජ සෝදාපාලුව ඉතා විශාලය. මෙම ගැටලුවට සර්ව කාලීන විසඳුමක් ලෙස පොතපත පරිශීලනය දැක්විය හැකිය. ඒ තුළ ඇතිවන සංවරභාවය හා බුද්ධිමය වටිනාකම් සමාජය තුළ මානව හිතවාදී ගුණධර්මයන් වගා කළ හැකි සරු බීජයන් ය. නමුත් වර්තමානයේ සාහිත්‍යය හා පොතපත කියවීම පාසල් පෙළ පොතට පමණක් සීමා වූ සංකල්පයන් බවට පත්ව ඇත. ඒ තුළ රාමුගත වූ වපසරිය මිස ඉන් එපිටට දරුවන් පොතපත පරිශීලනය කරනු දැකීම ඉතාම දුර්ලභය. මෙවන් පරිසරයක කියවීම හුදෙක් විභාග අවශ්‍යතාවක් බවට පත්ව ඇත. සමාජයේ කුඩාම පුරුක වන දරුවන් වෙත මෙලෙස කියවීම විභාග රාමුවක් තුළ කොටුකර ලබාදීමෙන් පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමඟම කියවීමත් ඒ සමඟම අවසන් වනු ඇත. නමුත් කළ යුත්තේ ඔවුන්ව සර්වකාලීන රසවින්දනයටත්, විචාර බුද්ධියටත් හුරු කරවීමයි. මේ සදහා කුඩා කල සිට ම පුස්තකාල භාවිතයට හුරු කරවීමත්, ඉඩ ලද අවස්ථාවන් හි පොතපත තෑගි කිරීමත් විසඳුම් ලෙස දැක්විය හැකිය. ලොව බොහෝ උගත් විද්වතුන් සතුව තමාගේම පොත් එකතූන් ඇත. එලෙස කුඩා කල සිට ම පොත් එකතු කිරීමටත්, කියවීමටත් දරුවන් උනන්දු කරවීම අනාගත සමාජය යහපත් වන්නට සිදුකරන වර්තමාන ආයෝජනයකි .

වර්තමාන කාර්යබහුල සමාජ රටාව තුළ මිනිසාට කළමනාකරණය කිරීමට අපහසුම දේ වන්නේ කාලයයි. එවන් වූ තරඟකාරී සමාජ රටාවක් තුළ වෙනත් සහසක් කාර්යයන් අතර කියවීම යනු මානව අවශ්‍යතාවන් අතර පවතින නිරන්තර තරඟයේ අන්තිමයා ය. නමුත් ඒ තුළ පසුබෑමට පත්වන්නේ මුලු මහත් සමාජයේ ම සාරධර්ම හා මානව හිතවාදී වටිනාකම් ය. වර්තමාන මානව අවශ්‍යතා අතර රැකියාවට ඔබගේ ජීවිතය, කාලය පැහැර ගත හැකිය. මිල මුදලට ඔබගේ සිතිවිලි, ශරීරය පැහැරගත හැකිය. නමුත් ඔබගේ බුද්ධිය පැහැර ගැනීමට හැක්කේ පොතපතට පමණි. පොතපතින් ඔබ තුළ ඇති කරන බුද්ධිමය පරිණතභාවය වෙනත් කිසිදු දෙයකට සම කළ නොහැක. ඔබ එක එල්ලේ යම් කෘතියක් කියවන විට ඒ තුළ ඒකාත්මික වන ඔබගේ මනස වෙනත් කිසිදු දෙයකින් ඒකාත්මික කළ නොහැක. එය ඔබ මනසට විවේකයක් සේ ම ව්‍යායාමයක් වන්නේ ද එනිසාම ය.

කියවීමේ පුරුද්ද යනු වර්ධනය කරගත හැකි දෙයකි. ඒ සදහා කිසිදු අමතර කාර්යයක් ඉටු කළ යුතු නොමැත. කළ යුතු වන්නේ ඔබගේ රුචිය පරිදි තෝරාගත් යම් කාතියක් හෝ ඉතා සුලු තොරතුරකින් වුවද අද සිටම ක්‍රමයෙන් ඔබගේ කාර්යබහුල කාල රාමුව තුළ විනාඩි කිහිපයක් කියවීම සඳහා වෙන්කර ගැනීමයි. ඔබ දරුවන් වෙත ද හැකි සෑම විටම පොතක් කියවීමට අවස්ථාව ලබාදීම හා ඔවුන් ඒ සදහා උනන්දු කරවීමයි. වර්තමානයේ මෙරට මහජන හා පාසල් පුස්තකාල පද්ධතිය ද ඒ සදහා කාර්යභාරයන් රැසක් ඉටු කරයි. කියවීම් සමාජ, පාසල් පුස්තකාල කව හා සාහිත්‍යය තරඟ සංවිධානය තුළ පොතපත හා සමීප වීමට අවස්ථා රැසක් ඒ තුළ සලසා දෙයි. තවද, මහජන පුස්තකාල වැඩිහිටියන්ට මෙන් ම කුඩා දරුවන් වෙත ද එකසේ පොතපත පරිශීලනය කිරීමටත් බැහැර ගෙනයාමටත් අවස්ථාව සලසා දෙයි. එවන් වූ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට පුරුදු පුහුණුවීම ඉතාමත් ම වැදගත් වේ. ඒ තුළ කියවීම පාදක කරගත් සමාජයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීම වඩාත් යථාර්ථවාදී කාර්යයක් වේ. එනිසයි කියවීම මිනිසා සම්පුර්ණ කරයි යන කියමන සර්ව කාලීන නියතයක් බවට පත්ව ඇත්තේ. ඒ අනුව අද සිටම කියවීමට හුරුවන්න. ඔබ සමාජයේ කුමන රැකියාවක නිරත වුවද, බුද්ධි මට්ටම කුමක් වුවද හැකි සෑම විටම සාහිත්‍යය හා පොතපත පරිශීලනයට වේලාවක් වෙන්කරගැනීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍යය. ඒ තුළ නිර්මාණය වන “ඔබ” අනාගත සමාජයට මානව හිතවාදය හා බුද්ධිමය දායාදයන් තිළිණ කරන චිචාරශීලි මිනිසෙකු වනු ඇත.

Copyright © 2020 Shalani Jayamanne, all rights reserved.

Leave a comment